uvtsuorg

මොනවද මේ NVQ

University of Vocational Technology

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ශිෂයෙකු වන අසිරු වේදිත කරුණාරත්න විසින් දිනමිණ පුවත්පතට ලියූ ලිපි පෙළක්.

පාසල් අධ්‍යාපනය හමාර කරන අපේ රටේ තරුණ පිරිසෙන් වැඩි හරියක් කුමන හෝ වෘත්තීය අධ්‍යාපන පාඨමාලාවක් හැදැරීමට යොමු වෙනවා. මේ පාඨමාලාවන් අතරෙ වැඩි ප්‍රමාණයක් තියෙන්නෙ NVQ සහිත පාඨමාලා. මොනවද මේ NVQ කියන්නෙ. අද බොහෝ දේශීය විදේශීය රැකියා වලට විමසලා බලන්නෙ මේ NVQ සුදුසුකම තියෙනවද කියන එක. අපේ රට තුලම රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල බොහෝ රැකියාවන් සඳහා මේ NVQ සුදුසුකම අත්‍යවශ්‍යයි. මේ නිසා මේ NVQ පිලිබඳව දැනගෙන ඉන්න එක තරුණ ඔබට ඉතාම වටිනවා.

NVQ විදියට කෙටියෙන් හඳුන් වන්නෙ National Vocational Qualification හෙවත් ජාතික වෘත්තිය සුදුසුකම් කියන එක. මේ මගින් සිදු කරන්නෙ විවිධ වු වෘත්තීය හැකියාවන් වල ඇති නිපුණතාවය මැනීම සිදු කරන එක. කෙනෙක් මොන රැකියාව කලත් ඒ පුද්ගලයා ඒ රැකියාව සිදුකරගෙන යන්න අවශ්‍ය සුදුසුකම් හෙවත් නිපුනතාවන් ලඟා කරගෙන තියෙන්න ඕන. එහෙම නැති අයට තමන්ගෙ වෘත්තිය කරගෙන යන්න පුළුවන් කමක් නෑ. මේ විදියට ඒ ඒ රැකියාවන් කරගෙන යන විට අවශ්‍ය වෙන නිපුනතාවන් හඳුනගෙන ඒවා පිලිබඳ සකස් කරපු සම්මතයන් තමයි ජාතික වෘත්තිය සුදුසුකම් පද්ධතිය තුල තියෙන්නෙ. උදාහරණයක් විදියට පරිගණක යෙදවුම් සහයකයෙකු සැලකුවොත් ඒ අයට කරන්න තියෙන එක දෙයක් තමයි පරිගණකයෙන් ලිපි සකස් කරන එක. ඒ සඳහා ඒ රැකියාවෙන නිරත වෙන කෙනා ලිපිය සකස් කරන්න පරිගකණකය භාවිතා කරන හැටි, අවශ්‍ය මෘදුකාංග තොරගන්න හැටි, නියමිත ප්‍රමිතියට ලිපිය සකස් කරන හැටි, නිවැරදිව මුද්‍රනය කරගන්න හැටි දැන ගන්න ඕන. ඒ සඳහා අවශ්‍ය නිපුනතාව ඒ වෘත්තිකයා ලබා ගෙන තියෙන්න ඕන. මෙන්න මේ වගේ එක් එක් වෘත්තියට අවශ්‍ය නිපුනතා තමයි ජාතික වෘත්තිය සුදුසුකම් වලදි සලකලා බලන්නෙ. මේ විදියට එක් එක් වෘත්තීන් සඳහා අවශ්‍ය නිපුනතා සම්මත සකස් කරලා තියෙනවා.

කෙනෙක් මේ සම්මතයට අදාල නිපුනතාවයන් ලබා ගෙන තියෙනවා නම් ඒ කෙනාට නිසි ඇගයීමකින් පසුව ඒ වෘත්තියට අදාල ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය ලබා ගන්න පුළුවන්. NVQ සහතිකය කියන්නෙ ඒ ඇගයීමෙන් ලැබෙන සහතිකය. ජාතික වෘත්තිය සුදුසුකම් පද්ධතිය සකස් කරලා ඒ පිලිබඳව ඇගයීම් කරලා NVQ සහතිකය ලබා දෙන්නෙ අපේ රටේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපනය නියාමනය කරන්න බලයලත් රාජ්‍ය ආයතනය වන තෘතියික හා වෘත්තීය අධ්‍යාපන ‍‍‍‍කොමිෂන් සභාව (TVEC) මගින්. මේ ජාතික වෘත්තිය සුදුසුකම් පද්ධතිය NVQ 1 සිට 7 දක්වා වන පියවර 7 කින් සමන් විත පද්ධතියක්. තමන්ට තියෙන වෘත්තිය සුදුසුකම අනුව, තමන් ලඟා කරගෙන තියෙන කුසලතා වය අනුව තමන්ට සුදුසු NVQ මට්ටම ලබා ගැනීම නිසා හිමිවෙන NVQ සහතිකයෙන් ඒ පුද්ගලයා ඒ වෘත්තිය සිදුකරගෙන යන්න පුළුවන් හැකියාව තියෙන පුද්ගලයෙක් කියන එක තහවුරු වෙනවා.

මේ NVQ සුදුසුකම ලබා ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි RPL (Recognition of prior learning) හෙවත් පෙර දැනීම හැඳින ගැනීම තුලින් NVQ සහතිකය ලබා ගැනීම සහ CBT ( Competency Based Training ) නිපුණතා පාදක පුහුණු පාඨමාලාවකට සහභාගි වීමෙන් NVQ සහතිකය ලබා ගැනීම. යම් කෙනෙකුට කිසියම් වෘත්තිය ක්ෂේත්‍රයක සේවය කිරීමෙන්, ජාතික වෘත්තිය සුදුසුකම් වලට අදාල නිපුණතා ක්ෂේත්‍රයන්හි සඳහන් වන කාර්යයන්, නිපුණතා සම්මතයෙහි සඳහන් වන ආකාරයට ඉටුකිරීමට හැකිබව සාක්ෂි සමග ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නම් එම වෘත්තිය වේදියාට තමාට ඇති සුදුසු කමට අදාල ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකයක් ලබාගන්න පුළුවන්. RPL විදියට හඳුන් වන්නෙ මේ ක්‍රමය.මේ ක්‍රමය වෘත්තියෙහි යම් කාලයක් නිරත වුන වෘත්තියෙහි ප්‍රවීනයන්ට තමන්ගෙ හැකියාවට අදාලව සහතියක් ලබා ගන්න හොඳ ක්‍රමයක්.

නමුත් වෘත්තිය අත්දැකීම් නැති ආධුනිකයන්ට ගැලපෙන ක්‍රමය වෙන්නෙ CBT හෙවත් නිපුණතා පාදක පුහුණු ක්‍රමය. ඒ කියන්නෙ නිපුණතා පාදක පුහුණු පාඨමාලාවකට සහභාගි වීමෙන් NVQ සහතිකය ලබා ගැනීම. අපි මුලින්ම කියපු NVQ සහිත පාඨමාලා හැදැරීමෙන් NVQ සහතිකය ලබා ගැනීම අයත් වෙන්නෙ මේ විදියට. මේ ක්‍රමයට NVQ සහතියක් ලබා දෙන විවිධ වෘත්තිය ක්ෂේත්‍ර වල පාඨමාලා රට පුරා විසිරී තියෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල පැවැත්වෙනවා. මේ පාඨමාලාවන් කුමන ආයතනයකින් හැදෑරුවත් ඇගයීම සිදු කරලා සහතිකය ලබා දෙන්නෙ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන ‍‍‍‍කොමිෂන් සභාව. මේ නිසා ලැබෙන සහතිකය ජාතික හා අන්තර් ජාතික වශයෙන් පිලිගත් පොදු සහතිකයක්.

කුමන ආකාරයෙන් ලබා ගත්තත් NVQ සහතිකයට හිමි වෙන්නෙ එකම ආකාරයේ පිළිගැනීමක්. මෑතක්වන තුරුම අපේ රටේ සිදු උනේ විවිධ වෘත්තිය ක්ෂේත්‍ර සඳහා විවිධ ආයතන විවිධ පාඨමාලා ක්‍රියාත්මක කිරීම. එකම වෘත්තිය ක්ෂේත්‍රයට අදාලව ආයතන දෙකක් සැලකුවත් ඒවා තුල පැවතුනෙත් එකිනෙකට වෙනස් පාඨමාලා දෙකක්. ඒ නිසා මෙම පාඨමාලා පැවැත්වූ විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන වලින් පාඨමාලා හැදැරූ සිසුන්ට ලැබෙන සහතික පත්‍ර වලට විධිමත් ස්වාභාවයක්, පිලිගැනීමක් තිබුනෙ නෑ . නමුත් NVQ සහතිකය මගින් ඒ දුර්වලතා මග හැරෙන නිසා අද බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැකියා වලට බඳවා ගන්නෙ NVQ සහතිකය හිමි අය පමණයි.

මේ NVQ සහතිකය හිමි අයට වාසි රැසක්ම හිමි වෙනවා. විශේෂයෙන්ම NVQ සහතිකයට විදේශීය රටවල ඉහල පිලි ගැනීමක් තියෙන නිසා විදේශීය රැකියා වලට යොමු වෙන අයට ඉහල වැටුපක් සහිත රැකියාවකට පහසුවෙන් යන්න පුළුවන්. NVQ සහතිකය හිමි පුද්ගලයා ඒ වෘත්තියෙ අවශ්‍ය නිපුනතාවන් ගෙන් පිරි කෙනෙක් කියලා තහවුරු කරලා තියෙන නිසා වෘත්තිය ජීවිතයෙදි ඉහල පිලිගැනීමක් හිමි වෙනවා වගේම තමන්ගෙ හැකියාවන් දියුණු කරගෙන වෘත්තිය ජීවිතයේ ඉහලට යන්නත් ඉතා පහසුවෙන් පුළුවන්.

මේ නිසා ඔබත් පාඨමාලාවක් තොරගන්න විට NVQ සහතිකය ලබා ගන්න පුළුවන් පාඨමාලාවක් තොරගන්න එක ඉතාම වටිනවා. NVQ පාඨමාලා පවත්වන්න පුළුවන් තෘතියික හා වෘත්තීය අධ්‍යාපන ‍‍‍‍කොමිෂන් සභාවෙ ලියා පදිංචි වෙලා ප්‍රතීතනය සිදු කරපු ආයතන වලට විතරයි. මේ නිසා NVQ පාඨමාලාවට ඇතුලත් වෙන්න කලින් http://www.tvec.gov.lk/ වෙබ් අඩවියට පිවිසිලා ලියා පදිංචි ආයතනයක්ද කියන එක තහවුරු කරගන්න අමතක කරන්න එපා. NVQ නැති උනත් ඕනම වෘත්තිය අධ්‍යාපන පාඨමාලා පවත්වන ඕනම ආයතනයක් තෘතියික හා වෘත්තීය අධ්‍යාපන ‍‍‍‍කොමිෂන් සභාවෙ ලියා පදිංචි විය යුතුමයි. එහෙම ලියාපදිංචි නැති ආයතන වලින් නිකුත් කරන සහතික වලට කිසිම වටිනාකමක් නෑ. ඒවා නිකම්ම “කඩදාසි කොලයක්” විතරයි. ලියාපදිංචි නැති ආයතනයක පාඨමාලාවක් හදාරනවා කියන්නෙ ඔබෙ මුදල් නිකරුනේ අපතෙ දැමීමක්. විශේෂයෙන් පාසල් වල විභාග අවසාන උනාට පස්සෙ බෙදන වෛවර්ණ අත් පත්‍රිකා වල සඳහන් ආයතන, ඔබ ඉල්ලීමක් නොකලත් විවිධ ශිෂ්‍යත්ව ලබා දෙන පවසා ලිපි එවන ආයතන වලා පාඨමාලා හැදෑරීමෙදි මේ කාරණය පිලිබද තදින්ම හිතන්න ඕන. ඔබ පාඨමාලාවක් හදාරන්න තොරගත්ත ආයතනය පිලිගත් එකක්ද කියන එක http://www.tvec.gov.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් ඉතා පහසුවෙන් තහවුරු කරගන්න පුළුවන්. NVQ මට්ටම් සහ පාඨමාලාවන් පිලිබඳ ලබන සතියෙ දිණමිණ දි Y පත්තරෙන් ඔබට දැනගන්න ලැබේවි. 

-අසිරු වේදිත කරුණාරත්න

Related

Articles 3730937147221012170

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item