uvtsuorg

සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රෙය් අධ්‍යාපන සහ රැකියා අවස්ථා





රූපවාහිනියට සිනමාවට වයස් බේදයකින් තොරව ඕනම කෙනෙක් කැමත්තක් දක්වනවා. එදිනෙදා කටයුතුත් එක්ක ජීවිතය ගෙවද්දි විනෝදාස්වාදය, අධ්‍යාපනය, දැනුම ලබාගන්න තියෙන පහසුම මග රූපවාහිනිය සහ සිනමාව. මේ නිසා සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රයට සමාජය තුල තියෙන්නෙ ඉහලම ඉල්ලුමක්.

හැම දෙනාගෙම ආදරයට, ආකර්ශණයට ලක්වුන මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න තරුණ තරුණියන් විශාල උත්සාහයක් දරනවා. නමුත් මේ ක්ෂේත්‍රයට ප්‍රවේශ වෙන්න ඕන කොහොමද කියන එක පිලිබඳව නිසි අවබෝධයක් නැති නිසාම තමන්ගෙ හිතේ තිබුන ආසාවත් කාලයත් එක්කම යටපත් වෙලා යනවා.රූපවාහිනී සහ සිනමා ක්ෂේත්‍රය කලාව සහ තාක්ෂණය එකට එක් වුන අපූර්වතම ක්ෂේත්‍රයක්. කලාව නැතිව තාක්ෂණය තිබුනත් තාක්ෂණය නැතිව කලාව තිබුනත් මේ ක්ෂේත්‍රය තුල පැවැත්මක් නෑ. මේ නිසා මේ හොඳ නිර්මාණයක් බිහිකරලා දිගු ගමනක් යන්න කලාව සහ තාක්ෂණය යන අංශ දෙක පිලිබඳවම හොඳ දැනුමක් අත්‍යවශ්‍ය වෙනවා. 

නිවසක විවාහ මංගල උත්සවයක වීඩියෝ පටය සකස් කිරීමේ සිට අති දැවැන්ත සිනමා නිර්මාණ, රූපවාහිනී වැඩසටහන් නිර්මාණය දක්වා පුලුල් පරාසයක මේ ක්ෂේත්‍රය පැතිරිලා තියෙනවා. අතීතයෙ වීඩියෝකරනය, රූපවාහිනිය, සිනමාව ලෙස බෙදිලා තිබුනත් ඩිජිටල් තාක්ෂණය නිසා අද වෙන විට මේ සියල්ලම එකතුවෙලා තනි ක්ෂේත්‍රයක් ලෙස දකින්න පුළුවන්. එම නිසා මේ ක්ෂේත්‍රය පිලිබඳ හොඳ දැනුමක් සහ පුහුණුවක් ලබා ගන්න කෙනෙකුට ගමේ උත්සවයෙ වීඩියෝපටය සකස් කිරීමේ සිට දැවැන්ත සිනමා නිර්මාණයකට දායක වීම දක්වා සිදුකරන්න පුළුවන්.

මේ ක්ෂේත්‍රය පුරාම දකින්න ලැබෙන්නෙ එකකට එකක් සම්බන්ධ වුනු කණ්ඩායම් ක්‍රියාකාරකම්.මේ නිසා එක් නිර්මාණයක් බිහිකරන්න විවිධ අංශ ප්‍රගුණ කරපු ශිල්පීන් රැසක්ම අවශ්‍ය වෙනවා. අධ්‍යක්ෂණය, පිටපත් රචනය, කැමරාකරණය, ආලෝකකරණය, වේෂනිරූපනය,පසුතල නිර්මාණය, විශේෂ ප්‍රයෝග(VFX) කළමණාකරනය, සංස්කරණය වැනි අංශ වල කටයුතු සඳහා ඒ ඒ අංශ පිලිබඳ ඉහල දැනුමක් සහ අත්දැකීම් සහිත අධ්‍යක්ෂක (Director), කැමරාකරු(Cameraman), ආලෝකකරණ ශිල්පි (Lighting Technician), පිටපත් රචක (Script Writer), වේෂනිරූපන ශිල්පි (Makeup Artist), පසුතල නිර්මාණ ශිල්පි(Set Designer), විශේෂ ප්‍රයෝග සංස්කාරක VFX creative director, සංස්කාරක (Editor), වැනි ශිල්පීන් අවශ්‍යයයි. මේ නිසා ඔබ වඩාත් කැමති හැකියාව තියෙන අංශයක් තෝරගෙන මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න පුළුවන්.

මේ ක්ෂේත්‍රය තුල තිබෙන කාර්යන් අනුව පෙර නිෂ්පාදනය (Pre-production), නිෂ්පාදනය (Production) සහ පසු නිෂ්පාදනය (Post-Production) ලෙස ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්. තමන්ගෙ කලාත්මක හැකියාව වැඩි නම් ඒ අයට පෙර නිෂ්පාදනය/නිෂ්පාදන අදියරට සම්බන්ධ අංශ තෝරගන්න පුළුවන්. මෙහිදි සිදුකරන්න තියෙන්නෙ පිටපත් රචනය,කැමරාකරණය,සැලසුම්කරණය,වේෂ නිරූපණය, පසුතල නිර්මාණය වැනි දේවල්. තමන්ගෙ තාක්ෂණික හැකියාව වැඩි නම් ඒ අයට පසු නිෂ්පාදන අංශය තෝරගන්න පුළුවන්. පසු නිෂ්පාදනයෙදි ප්‍රධාන වශයෙන් කෙරෙන්නෙ සංස්කරණ කටයුතු සහ විශේෂ ප්‍රයෝග වලට අදාල කටයුතු.

කුමන අංශය තෝරගත්තත් ඒ පිලිබඳව නිවැරදි දැනුමක් හා පුහුණුවක් අවශ්‍යයයි. ඒ නිසා මේ පිලිබඳව දැනුම ලබාදෙන පාඨමාලාවකට සම්බන්ධ වෙලා මූලික දැනුම ලබාගෙන පසුව රැකියා ආයතනයක හෝ ජේෂ්ඨ ශිල්පියෙක් යටතේ වැඩිදුර පුහුණුව ලබා ගන්න පුළුවන්. පුහුණු පාඨමාලා පවත්වන ඇතැම් ආයතන අධ්‍යක්ෂණය, පිටපත් රචනය, කැමරාකරණය, වැඩසටහන් අධ්‍යක්ෂණය, වැඩසටහන් ඉදිරිපත් කිරීම, සංස්කරණය වැනි එක් එක් අංශ වෙනුවෙන් වෙන වෙනම පාඨමාලා පවත්ගෙන යනවා. (උදා:-Certificate in Camera and Lighting Techniques, Certificate in Non-Linear Editing, Certificate in TV Program Production වැනි පාඨමාලා) සාමාන්‍යයෙන් මේ පාඨමාලාවන් මාස 6 - අවුරුදු 1 කාලයේ ඒවා. ඇතැම් ආයතන වැඩ සටහන් නිෂ්පාදනය හෝ පසු නිෂ්පාදනයට අදාල සම්පූර්ණ පාඨමාලා පවත්වා ගෙන යනවා. මේවැනි පාඨමාලාවක් සඳහාවසර 1 -2 පමණ කාලයක් වැය වෙනවා. සමහර ආයතන මේ ක්ෂේත්‍රයේ විවිධ අංශ වල භාවිතා වන පරිගණක මෘදුකාංග පිලිබඳව දැනුම ලබාදෙන පාඨමාලාවන්ද පවත්වාගෙන යනවා. විශේෂයෙන් පසු නිෂ්පාදන (Post-Production) කටයුතු සඳහා භාවිතා කරන පරිගණක මෘදුකාංග පිලිබඳව දැනුම ලබාදෙන පාඨමාලාවන් රැසක්ම දකින්න පුළුවන්. එවැනි පාඨමාලාවන් වඩා සුදුසු වෙන්නෙ ක්ෂේත්‍රය තුල නිරත වෙලා ඉන්න අයට. නවකයන්ට එවැනි පාඨමාලාවකට එක් වරම සම්බන්ධ වීමෙන් නිවැරදි දැනුමක් ලබාගන්න බැරි වෙන්න පුළුවන්.

මේ වන විට අනෙකුත් ක්ෂේත්‍ර වගේම මේ ක්ෂේත්‍රයටත් ජාතික නිපුනතා සම්මත සකස්කරලා තියෙන නිසා මේ ක්ෂේත්‍රෙය ඇතැම් පාඨමාලා සඳහා ජාතික වෘත්තිය සුදුසුකම් සහතික ලබා ගන්නත් පුළුවන්. ඒ ඔස්සේ උපාධිය දක්වාම යාමේ හැකියාවත් තියෙනවා.
මේ ක්ෂේත්‍රයට අළුතෙන් ඇතුළු වෙන්න කැමති අයට ඒ පිලිබඳ පුහුණු පාඨමාලා පවත්වන ආයතන වලින් විස්තර ලබාගෙන ඒ පාඨමාලාවන්ට ඇතුලත් වෙලා තමන්ගෙ වෘත්තිය ජීවිතය ආරම්භ කරන්න පුළුවන්. මේ පාඨමාලාවන් පවත්වන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක්ම තියෙනවා.

1.ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යස ආයතනය /Sri Lanka Media Training Institute


කලින් රූපවාහිනී අභ්‍යස ආයතනය ලෙස හැඳින්වුන මේ ආයතනය මගින් සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රයට අදාල පාඨමාලා රාශ්‍රියක්ම පවත්ගෙන යනවා. මේ ආයතනය සහ පාඨමාලාවන් පිලිබඳ තොරතුරුhttp://www.slmti.lk/ වෙබ් අඩවිය මගින් හෝ 0112674925, 0112674926දුරකතන අංක මගින් ලබා ගන්න පුළුවන්.


2.ජාතික චිත්‍රපට සංස්ථාව / National Film Corporation


ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යාපන,ප්‍රවර්ධන සහ සංස්කෘතික අංශය මගින් එක් අවරුදු සිනමාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් පැවැත්වෙනවා. එම පාඨමාලාවන් පිලිබඳ තොරතුරුhttp://www.nfc.gov.lk/වෙබ් අඩවිය මගින් හෝ 011 2 585721 දුරකතන අංකය මගින් ලබා ගන්න පුළුවන්. 


3.ජාතික තරුණ සේවා සභාව - නිස්කෝ වීඩියෝ / National Youth Center - Nisco Video


මේ ආයතනය මගින් එක් අවුරුදු පූර්ණකාලීන රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදන ජාතික ඩිප්ලෝමාව (National Diploma in Television Program Production) NVQ 5 පාඨමාලාව ඇතුළු පාඨමාලාවන් පැවැත්වෙනවා පිලිබඳ තොරතුරු http://nyscovideoacademy.blogspot.com/වෙබ් අඩවිය මගින් හෝ 0112850986 දුරකතන අංකය මගින් ලබා ගන්න පුළුවන්. 

4. ශ්‍රී ලංකා පදනම / Sri Lanka Foundation


මේ ආයතනයත් සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රයට අදාල පාඨමාලාද පැවැත්වීම සිදුකරනවා. මේ පිලිබඳව http://www.slf.lk/ වෙබ් අඩවිය මගින් හෝ 0112691814 දුරකතන අංකය මගින් විස්තර ලබා ගන්න පුළුවන්. 

5 .රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනය / University College Rathmalana


මේ ආයතනය මගින් 
• සිනමා සහ රූපවාහිනී නිෂ්පාදන තාක්ෂණ ඩිප්ලෝමාව / Diploma in Film and Television Production and Technology.
• සිනමා සහ රූපවාහිනී පසු නිෂ්පාදන තාක්ෂණ ඩිප්ලෝමාව / Diploma in Film and Television Post Production and Technology.
පාඨමාලාවන් දෙකක් පවත්වාගෙන යනවා. මේ පාඨමාලාවන් සඳහා ඇතුලත් වීමට උසස්පෙල ඕනෑම විෂය ධාරාවකින් සමත් වීම හෝ අදාල ක්ෂේත්‍රයක ජාතික වෘත්තිය සුදුසුකම් 4 (NVQ 4) මට්ටම ලබාගෙන තිබීම අවශ්‍යයයි. මේ NVQ 4 මට්ටම Gaffer(lighting technician), Telecommunication Technician, Video editor, Photographer, Graphic Designer වැනි ක්ෂේත්‍රවලින් ලබා ගත් අයට මේ පාඨමාලාවන් සඳහා ඇතුළු වෙන්න පුළුවන්. වසර තුනක පමණ කාලයක් ගතවන මේ පාඨමාලාවන් දෙක මගින් ජාතික වෘත්තිය සුදුසුකම් 5 (NVQ 5) සහ 6 (NVQ 6) ලබාගන්න පුළුවන්.
රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනය මගින් පැවැත්වෙන මේ ජාතික වෘත්තිය සුදුසුකම් 05(NVQ 5) පාඨමාලාවන් පිලිබඳව රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනය, අංක 1A, දුම්රියපල පාර, රත්මලාන ලිපිනයෙන් හෝ 0112626297, 0112626298 දුරකතන අංකයන් මගින් ලබා ගැනීමට හැකියාව තියෙනවා.
මේ ආයතන හැරුණුවිට තවත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ගනනාවක් මේ ක්ෂේත්‍රයට අදාල පාඨමාලා පවත්වනවා. එමනිසා ඒ ආයතන, ඒවායේ අධ්‍යාපනය ලැබූ අය හා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් අදහස් අරගෙන සුදුසු ආයතනයක සුදුසු පාඨමාලාවකට සම්බන්ධ වෙන්න ඔබට පුළුවන්.

වර්තමානය වනවිට අනෙකුත් ක්ෂේත්‍ර වගේම මේ තුලිනුත් උපාධිය දක්වාම අධ්‍යාපනය ලැබීමේ හැකියාව අපේ රට තුලම තියෙනවා. ඕනම ක්ෂේත්‍රයක උපාධිධාරියෙක් කියන්නේ ඒ ක්ෂේත්‍රය තුල ඉහල අධ්‍යාපනයක් ලබපු, තීරණයක් ගන්න හැකියාවක් සහිත කෙනෙකුට නැතිනම් සැලසුම් කරුවකුට. සිනමා හා රූපවාහිනී ක්ෂේත්‍රය විශාල පිරිසක් දායක වෙන විශාල පිරිවැයක් වැය කරලා නිර්මාණයක් බිහිකරන ක්ෂේත්‍රයක්. ඒ නිසා විවිධ අංශවලට අදාල ශිල්පීන් වගේම තීරණ ගන්න, සැලසුම් කරන්න හැකියාව තියෙන පිරිසක් මේ ක්ෂේත්‍රයට අවශ්‍යයි. මේ උපාධිධාරීන්ගෙන් සිදුවෙන්නෙ ඒ කාර්ය. අපේ රටට සිනමාව ඇවිත් වසර 60 ක් පමණනත් රූපවාහිනය ඇවිත් වසර 35 පමණත් වෙනවා. අතීතයෙ ඉඳන් ක්‍රමයෙන් දියුණුවට පත්වුන මේ ක්ෂේත්‍රය තුල අද මිල අධික ඉහල තාක්ෂණික උපකරන භාවියෙත් ඉහල ගුණාක්මක භාවයක් සහිත සංකීර්න නිර්මාණ සිදුකරන නිසා මේ ක්ෂේත්‍රයට ඉහල දැනුමක් කලමණාකාරී හැකියාවක් සහිත අය අවශ්‍යයයි. ඒ අය බිහිකිරීම වෙනුවෙන් මේ උපාධි පාඨමාලා සකස් කරලා තියෙනවා.
සිනමා හා රූපවාහිනී ක්ෂේත්‍රය පිලිබඳ උපාධිපාඨමාලා දෙකක් අපේ රට තුලදීම හදාරන්න පුළුවන්

1. සිනමා සහ ටෙලිවිෂන් නිෂ්පාදන තාක්ෂණවේදී උපාධිය /Bachelor of Technology in Film and Television Production Technology 


මේ උපාධිපාඨමාලාව රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී අධ්‍යනාංශය මගින් පිරිනමන තුන්අවුරුදු තාක්ෂණවේදී උපාධි පාඨමාලාවක්. මේ උපාධි පාඨමාලාව ප්‍රධාන ක්ෂේත්‍ර 5ක උපාධිධාරීන් බිහිකිරීම අරමුණු කරගෙන සකස් කරලා තියෙනවා.

• කැමරා අධ්‍යක්ෂක / Director of photography (DOP)
• පිටපත් රචක/ Script writer
• අධ්‍යක්ෂක / Director
• පසුනිශ්පාදන කලමණාකරු / Post Production Manager 
• තාක්ෂණ නිලධාරී / Technical officer (TO)

අදාල ක්ෂේත්‍රයෙ ජාතික වෘත්තිය සුදුසුකම් 05(NVQ 5) මට්මට ලබාගෙන තියෙන අයට මේ උපාධි පාඨමාලාවට ඇතුලත් වෙන්න පුළුවන් . මේ උපාධි පාඨමාලාවෙ අවසන් වසරෙදි සංස්‌කරණය, අධ්‍යක්‍ෂණය, කැමරාකරණය, පිටපත් රචනය. වේෂ නිරූපණය, පසුතල නිර්මාණය සහ රූපවාහිනී තාක්ෂණය වැනි විෂයන්ගෙන් තමන් කැමති විෂයක් තෝරාගෙන ඒ පිලිබඳව දීර්ඝ වශයෙන් හැදෑරීමට අවස්ථාව ලබා දෙනවා. මේ උපාධි පාඨමාලාව පිලිබඳව වැඩිදුර තොරතුරු http://www.univotec.ac.lk/ වෙබ් අඩවිය මගින් හෝ 0112630700 දිගුව (Ext.) 1330දුරකතන අංක මගින් ලබාගන්න පුළුවන්.

2 ශ්‍රාස්ත්‍රවේදී (විශේෂ) සිනමා හා රූපවාහිනී අධ්‍යනය විශේෂ උපාධිය / Bachelor of Arts (Special) Degree in Film and Television Studies


මේ උපාධිපාඨමාලාව කැළණිය විශ්වවිද්‍යාලයෙ මානවශ්‍රාස්ත්‍ර පීඨය මගින් පවත්වන සිවුඅවුරුදු උපාධි පාඨමාලාවක්. මේ පාඨමාලාව සඳහා ඇතුලත් වීමට අදාල විශයන්ගෙන් උසස්පෙළ සමත්වී අවශ්‍ය Z අගය ලබාගෙන තිබීම සහ විශ්වවිද්‍යාලය මගින් පවත්වන යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වීම අවශ්‍ය වෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු http://www.kln.ac.lk/humanities/ වෙබ් අඩවියෙන් හෝ 0112911913 දුරකතන අංකයෙන් ලබා ගන්න පුළුවන්.

මේ උපාධි පාඨමාලාවන් දෙකේම විෂය මාලා සකස් කිරීම දේශන පැවැත්වීම සිදු කරන්නෙත් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් විසින්. මේ නිසා පුහුණුවෙන් රැකියා ලබා ගැනීමටත් එය විශේෂ වාසියක්.

ප්‍රායෝගික පුහුණුවත් ඒ අයගෙ ආයතන තුල ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනවා.
මේ උපාධි පාඨමාලාවන් සහ අනෙකුත් සහතික පත්‍ර සහ ඩිප්ලෝමා පාඨමාලාවන් හැදෑරීමෙන් පසු තමන් ලබාගෙන තියෙන කුසලතාවය සහ අධ්‍යාපන මට්ටම අනුව සුදුසු රැකියාවක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ ක්ෂේත්‍රයට පැමිනෙන බහුතරයකට රූපවාහිනී ආයතත වල විවිධ තනතුරු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. වර්තමානය වනවිට අන්තර් ජාල රූපවාහිනී, චන්ද්‍රිකා රූපවාහිනී ආයතනත් විශාල ප්‍රමාණයක් ආරම්භ වෙලා තියෙන නිසා විශාල රැකියා අවස්ථා ප්‍රමානයක් නිර්මාණය වෙලා තියෙනවා. මීට අමතරව රූපවාහිනී සඳහා වැඩ සටහන් නිෂ්පාදනය කරන ආයතනත් රාශියක්ම තියෙනවා.
කැමති අයට විත්‍රපට වැනි විවිධ නිෂ්පාදන කරන කන්ඩායම් සහ ආයතන සමග එකතු වෙන්නත් පුළුවන්. වෙළඳ ප්‍රචාරන කටයුතු සිදුකරන ආයතන වලත් රැකියා අවස්ථා රැසක්ම බිහිවෙලා තියෙනවා.
මීට අමතරව රාජ්‍ය සහ පෞද්ගලික ආයතවල මාධ්‍ය අංශ වල රැකියා වලට යොමුවෙන්නත් පුළුවන්. බොහෝ රාජ්‍ය ආයතවල මේ අංශයේ තනතුරු කිහිපයක් නිල වශයෙන්ම වෙන් කරලා තියෙනවා. රූපවාහිනී ආයතවල ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ලෙස කටයුතු කරන්නත් මේ ක්ෂේත්‍රයෙ සුදුසුකම් ලබාගෙන තියෙන අයට පුළුවන්.
රැකියාවකට අකමැති නම් තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ හැකියාවත් තියෙනවා. වර්තමානය වනවිට උපන්දින සාද, ගමේ සංගීත සංදර්ශණය , විවාහ මංගල උත්සව, පාසල්වල උත්සවවැනි දේ වීඩියෝ ගත කරගන්න සංස්කරණය කරගන්න බොහෝ අය උත්සාහ කරන නිසා මේ ක්ෂේත්‍රයට විශාල වෙලඳ පලක් නිර්මාණය වෙලා තියෙනවා.
ලෝකයේ වැඩිම වියදමක් දරන්නෙ ගුවන් නියමුවෙක් බිහිකරන්න කරන්න. ඊලඟට වැඩිම පිරිවැයක් යන්නෙ මේ ක්ෂේත්‍රයේ ශිල්පියෙක් බිහිකිරීම වෙනුවෙන්. නමුත් අපේ රට තුල ඔබට ඉතාම අඩු පිරිවැයකින් මේ සුදුසුකම් ලබා ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වෙනුවෙන් අති විශාල මුදලක් වැය කරලා සකස් කරපු තාක්ෂණ විද්‍යාගාර, චිත්‍රාගාර අපේ රටේ විශ්වවිද්‍යාල හා ආයතන තුල තියෙනවා.තරුණ ඔබට ලැබිලා තියෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන ලෝකයම ජයගන්න පුළුවන්. ඒ නිසා තරුවක් වෙන්න ලැබුණු මේ අවස්ථාව මග හරින්න එපා කියන එක දිණමින Y පත්තරේ අපි ඔබට කියනවා.

විශේෂ ස්තුතිය වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ, ඉංජිනේරු ස්ටැන්ලි හෙට්ටිආරච්චි මහත්මාට.

අසිරු වේදිත කරුණාරත්න.

Related

Articles 1892513534654076521

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item