uvtsuorg

ඔබට හරියන NVQ මට්ටම


වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ශිෂයෙකු වන අසිරු වේදිත කරුණාරත්න විසින් දිනමිණ පුවත්පතට ලියූ ලිපි පෙළක්.

ජාතික වෘත්තිය සුදුසුකම් නැතිනම් NVQ කියන්නෙ මොනවද කියලා මේ වෙන කොට ඔබ දැනුවත් වෙලා තියෙන්නෙ. රැකියාවක් ලබා ගැනීමේදි ඔබ ලබා ගෙන තියෙන NVQ සහතිකයට ඉහල වටිනාකමක් ලැබෙන බව දැන් ඔබ දන්නවා. අපි කොහොමද ජාතික වෘත්තිය සුදුසුකම් නැතිනම් NVQ සුදුසුකම ලබා ගන්නෙ. අපිට ලබා ගන්න පුළුවන් කුමන NVQ මට්ටමද. ඒ NVQ මට්ටම ලබා ගන්න අපි හදාරන්න ඕන මොන පාඨමාලාද. ඒ පාඨමාලා පැවැත්වෙන්නෙ කුමන ආයතන වලද. මේ පිලිබඳව ඔබට ගැටළු රාශියක් ඇති.

ජාතික වෘත්තිය සුදුසුකම් රාමුව NVQ ම්ට්ටම් නැතිනම් NVQ Level 1 සිට 7 දක්වා වන මට්ටම් 7 කින් සමන්විතයි. ඔබට කිසිඳු වෘත්තිය දැනුමක් නැතිනම් NVQ 1 ඉඳලම පටන් ගන්න පුළුවන් වගේම යම් මූලික සුදුසුකම් තියෙනවා නම් NVQ රාමුවෙ මැද මට්ටමකින් පටන්ගෙන උනත් අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරලා NVQ සහතිකය ලබා ගන්න ඔබට පුළුවන්

NVQ 1 සිට 4 (NVQ Level 1 – 4) දක්වා පාඨමාලා. 

NVQ Level 1 සිට 4 දක්වා තියෙන්නෙ සහතික පත්‍ර මට්ටමේ පාඨමාලා හෙවත් ශිල්පීය මට්ටමේ පාඨමාලා. NVQ 1 සිට 4 දක්වා ඕනෑම NVQ මට්ටමක් සම්පූර්ණ කරන කෙනෙකුට ඒ NVQ මට්ටමට අදාල ජාතික සහතිකය (National Certificate) ලබා ගන්න පුළුවන්. ඔබට කිසිම වෘත්තිය සුදුසුකමක් නිපුනතාවයක් නැතිනම් මේ NVQ 1 ඉඳලම පටන් ගන්න පුළුවන්. යම් සුදුසුකමක් තියෙනවා නම් කෙලින්ම NVQ 4 මට්ටමේ පාඨමාලාවකට ඇතුළු වෙලා එය සම්පූර්ණ කරන්න පුළුවන්. මේ අවශ්‍ය මූලික සුදුසුකම්, පාඨමාලාව හා පවත්වන ආයතනය අනුව වෙනස් වෙනවා. මේ මට්ටමේ බොහෝ පාඨමාලාදි මාස 6 ක අධ්‍යන කාලයක් සහ මාස 6 සේවා පුහුණුවකින් පසුව ඇගයීම් සිදුකිරීමෙන් සහතික පත්‍රය නිකුත් කරන්නෙ. සමහර පාඨමාලා වලට මේ කාල සීමාව වෙනස් වෙන්න පුළුවන්. මේ NVQ Level 1 සිට 4 දක්වා ඔබ ලබා ගන්න මට්ටම අනුව ලැබෙන වෘත්තිය මට්ටමත් වෙනස් වෙනවා 1 වන මට්ටම (NVQ Level 1 ) - මුලික හා ආරම්භක හැකියාවන් ඇති ශිල්පීන් 2 වන මට්ටම (NVQ Level 2 ) - නිරන්තර අධික්ෂණය යටතේ ක්‍රියා කරන ශිල්පීන් 3 වන මට්ටම (NVQ Level 3 ) - සුළු මට්ටමක වු අධික්ෂණයක් යටතේ ක්‍රියා කළ හැකි ශිල්පීන් 4 වන මට්ටම (NVQ Level 4 ) - ස්වාධීනව කටයුතු කළ හැකි ශිල්පීන් මේ පාඨමාලා පැවැත්වෙන ආයතන රට පුරාම විසිරිලා තියෙනවා. වෘත්තිය පුහුණු අධිකාරිය (VTA) කාර්මික විද්‍යාල (Technical College) තරුණ සේවා සභාවෙ (NYSE) වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) වැනි රාජ්‍ය අංශයෙ ආයතන වගේම පෞද්ගලික අංශයෙත් ආයතන විශාල ප්‍රමාණයක් දිවයින පුරා විසිරිලා තියෙනවා.

NVQ Level 5 පාඨමාලා.

මේ මට්ටමේදි පැවැත්වෙන්නෙ ඩිප්ලෝමා පාඨමාලා හෙවත් අධීක්ෂණ මට්ටමේ පාඨමාලා. NVQ 5 මට්ටම සම්පූර්ණ කරන කෙනෙකුට ජාතික ඩිප්ලෝමාව (National Diploma) ලබා ගන්න පුළුවන්. මේ මට්ටමේදි බිහිවෙන්නෙ සුපරීක්ෂක වරුන් (Supervisors). ඔබ මේ මට්ටමේ පාඨමාලාවක් හදාරන්න NVQ Level 3 හෝ 4 මට්ටමේ සහතික පත්‍රයක් ලබා ගෙන තියෙන්න ඕන. සමහර NVQ 5 මට්ටමේ පාඨමාලා සඳහා උසස්පෙළ ප්‍රතිපල අනුව ඇතුළු වීමේ අවස්ථාවත් තියෙනවා. මේ මට්ටමේ පාඨමාලාවක් සම්පූර්ණ කරන්න වසර 1-2 අතර කාලයත් ගත වෙනවා. NVQ 5 මට්ටමමේ පාඨමාලා පළාතකට එක බැගින් පිහිටලා තියෙන තාක්ෂණ විද්‍යාල (College of Technology) දිවයින පුරා පිහිටුවා ඇති විශ්වවිද්‍යාල විද්‍යාතන (University College) හා කෘෂිකර්ම විද්‍යාල වැනි ආයතනවලින් හදාරන්න පුළුවන්.

NVQ Level 6 පාඨමාලා. 

මේ මට්ටමේදි පැවැත්වෙන්නෙ උසස් ඩිප්ලෝමා පාඨමාලා හෙවත් කළමනා කරණ මට්ටමේ පාඨමාලා. NVQ 6 මට්ටම සම්පූර්ණ කරන කෙනෙකුට උසස් ජාතික ඩිප්ලෝමාව (Higher National Diploma) ලබා ගන්න පුළුවන්. මේ මට්ටමේදි බිහිවෙන්නෙ කළමණාකරුවන් (Managers). මේ මට්ටමේ පාඨමාලාවක් හදාරන්නNVQ Level 5 ලබා ගෙන තියෙන්න ඕන. සමහර අවස්ථාවලදි NVQ 5 සහ 6 මට්ටම් දෙකම ලබා ගන්න එක වර ඇතුළු වීමේ අවස්ථාවත් තියෙනවා.එහෙම අයට NVQ 6 ලබාගෙනම පිටවෙන්න පුළුවන්. මේ මට්ටමමේ පාඨමාලාත් තාක්ෂණ විද්‍යාල හා විශ්වවිද්‍යාල විද්‍යාතන මගින් හදාරන්න පුළුවන්.

NVQ Level 7 පාඨමාලා. 

මේ මට්ටමේදි පැවැත්වෙන්නෙ උපාධි පාඨමාලා හෙවත් තීරණ ගැනීමේ මට්ටමේ පාඨමාලා. NVQ 7 මට්ටමට අදාල නිපුනතා සම්පූර්ණ කරන කෙනෙකුට තාක්ෂණවේදි උපාධිය (Bachelor of Technology) ලබා ගන්න පුළුවන්. මේ මට්ටමේදි බිහිවෙන්නෙ සැළසුම්කරුවන් (Decision makers). මේ තාක්ෂණවේදි උපාධිය ලබාගැනීම සඳහා රත්මලානෙ පිහිටලා තියෙන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයට (University of Vocational Technology) ඇතුලත් වෙන්න ඕන. ඔබ NVQ Level 5 ලබා ගෙන තියෙනවා නම් මේ සඳහා ඇතුලත් වෙන්න පුළුවන්. NVQ Level 6 ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙන්නෙ නෑ. මේ උපාධි පාඨමාලාන් සඳහා සාමාන්‍යයෙන් වසර තුනක පමණ කාලයක් ගතවෙනවා.

අද වෙනවිට මේ NVQ සහතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, විදුලි හා ඉලෙක්ටොනික, කෘෂි හා ආහාර තාක්ෂණ, ඇඟලුම්, ඉදිකිරීම්, නිෂ්පාදන තාක්ෂණ, ජීව වෛද්‍ය, රූපලාවණ්‍ය, සිනමා හා කලා, කලමණනාකරන, යාන්ත්‍රික තාක්ෂණ, සංචාරක හා සේවා වැනි විශාල ක්‍ෂේත්‍ර ප්‍රමාණයකට ලබා ගන්න පුළුවන්. මේ පාඨමාලා හදාරද්දි ඇතැම් රාජ්‍ය ආයතන සිසුන් වෙනුවෙන් විශේෂ වරප්‍රසාද ලබා දීමත් සිදු කරනවා. වෘත්තිය පුහුණු අධිකාරියෙ සමහර පාඨමාලා පැවැත්වෙන්නෙ නොමිලයේ. සමහර පාඨමාලා හදාරන සිසුන්ට දීමනාවක් ලබා දීමත් සිදු කරනවා. කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්ථමේන්තුව යටතේ තියෙන කාර්මික හා තාක්ෂණ විද්‍යාල වල පූර්ණකාලීන පාඨමාලා නොමිලයේ පැවැත්වෙන්නෙ. අඩු අදායම් ලාභී සිසුන් වෙනුවෙන් දීමනාවක් ලබා දීමත් සිදු කරනවා. මේ නිසා දුෂ්කරතා සහිත තරුණ තරුණියන්ට මෙය හොඳ අවස්ථාවක්.

මේ විවිධාකාර පාඨමාලා පිලිබද තොරතුරු ඒ ආයතන වලට ගිහින් ලබා ගන්න පුළුවන්. ඒ ආයතන වල වෙබ් අඩවි වලත් සියළු තොරතුරු ඇතුලත් කරලා තියෙනවා.

  • වෘත්තිය පුහුණු අධිකාරිය (VTA) - http://www.vtasl.gov.lk/ 
  • කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්ථමේන්තුව (DTET) – http://www.dtet.gov.lk/ 
  • තරුණ සේවා සභාව (NYSC) – http://nysc.lk/ 
  • ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) - http://www.naita.gov.lk/ 
  • ලලිත් ඇතුලත් මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය (LAVTC) - http://www.lavtc.lk/ 
  • වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලය - http://www.univotec.ac.lk/ 
  • තෘතියික හා වෘත්තීය අධ්‍යාපන ‍‍‍‍කොමිෂන් සභාව (TVEC) - http://www.tvec.gov.lk/ 
  • තරුණ කටයුතු අමාත්‍යාංශය - http://www.youthmin.gov.lk/ 
  • ජාතික යොවුන් සේනාංකය - http://www.youthcorps.lk/


මේ වෙබ් අඩවි වල පාඨමාලා තොරතුරු හා ඒ ආයතන සම්බන්ධ කරගන්න පුළුවන් තෙරතුරු අඩංගු වෙලා තියෙනවා. මේ වෙබ් අඩවි වලට පිවිසීමෙන් ඔබටත් ගැලපෙන වඩා සුදුසු පාඨමාලාවක් තොර ගන්න පුළුවන්. මේ NVQ ක්‍රමයෙ ඇති ජනප්‍රියතාව නිසා විවිධ පුද්ගලයින් වංචනික ආකාරයෙන් පාඨමාලා/ආයතන පවත්වාගෙන යනවා. ඒ නිසා පාඨමාලාවක් හදාරන්න කලින් එය තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලබපු එකක්ද කියන එකත් අනිවාර්යෙන්ම තහවුරු කරන්න ඕන. ඒක ඉතාමත්ම වැදගත් . 

- අසිරු වේදිත කරුණාරත්න

Related

Articles 2064194128363300346

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item