uvtsuorg

ටෙක්නිකල් හංදිය

Sri Lanka College of Technology

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ශිෂයෙකු වන අසිරු වේදිත කරුණාරත්න විසින් මව්බිම පුවත්පතට ලියූ ලිපි පෙළක්.

පිත්තල හංදිය, බෙලෙක්කඩේ හංදිය, ගම්සභා හංදිය, ටෙක්නිකල් හංදිය වගේ විවිධ හේතු නිසා රටපුරා ප්‍රසිද්ධ වුන හංදි තිබුණත් , හංදියක් කියපු ගමන් කොයි කගෙත් ඔළුවට එන්නෙ කොත්තු ගහන ටකරන් සද්දෙ විහිදෙන, සයිවර් කඩ පේලියක් සහිත ත්‍රීරෝද රථ නැවතුම්පලක් තියෙන ඇඟපුරාම පච්ච කොටපු, බාච්චු කලිසම් ඇඳපු ,චන්ඩි මදාවි අයියලා එකතු වෙන තැන් හැටියට.

කොළඹ පිටකොටුව බස් නැවතුම්පල පහුකරලා මරදාන පැත්තට එනකොට හමුවෙන මරදාන ටෙක්නිකල් හංදියත් අදත් මේ වගේ ලක්ෂණ ටිකක් උරුම කරගත්ත තැනක්. බොහොම ඈත අතීතයෙ මේ ප්‍රදේශය මංපහරන්නන්ගෙ රජ දහණක් වෙලා තිබුනා කියලා කතාවකුත් තියෙනවා.40 දශකයෙ දි පවා හවස හය හත වෙන කොට තමන් ටෙක්නිකල් හංදිය පහුකලේ කමිසයෙ බොත්තම් ගලවලා ,කමිසය සුලඟට විසිරෙන්න ඇරලා, පිස්සු හැදුන එකෙක් වගේ කියලා ප්‍රවීන ගත් කතුවරයකු වන කේ. ජයතිලක මහත්තයා පත්තරේකට කියලා තිබුණා. එහෙම නැති වුනා නම් අවට කැලෑ වල හැංගිලා හිටපු හොරුන්ගෙන් අතමිට බේර ගන්න එක නම් බොරු කියලයි එතුමා කියලා තිබුනෙ. හංදි ලක්ෂණ වගේම ගමට යෙදිලා තිබුන මරදාන කියන නම නිසාත් මේ ප්‍රදේශය පිළිබඳ කාගෙවත් හිත්වල යහපත් ආකල්පයක් තිබුණෙ නෑ. ඒ වගේම මරදානට එන කෙනෙකුට හැදෙනවට වඩා වැනසෙන්නත් ඕන තරම් අවස්ථා තිබුනා. මේ නිසාම ආනන්දෙන් ප්‍රඥාවට යන අය වගේම ආනන්දෙන් මරදානට යන අයත් ඉන්නවා කියන කතාව සමාජ ගත වෙන්න ඇති. කොළඹ ආනන්ද විද්‍යාලය පිහිටලා තියෙන්නෙත් මරදානෙ.

මරදානෙ කතාව ඔය වගේ උනත් 1893 වසරෙදි මරදාන ලංකා රජයේ දුම්රියමාර්ග ගොඩනැගිල්ලට නුදුරින් පිහිටි අලුත්වැඩියා කරන ලද කෝපි ගබඩා ගොඩනැගිල්ලක ආරම්භ වුණු සිලොන් ටෙක්නිකල් කොලේජ් එහෙම නැත්තම් රජයේ කාර්මික පාසල නිසා මේ හංදිය ටෙක්නිකල් හංදිය බවට පත්වෙනවා. අද වෙනකොට මරදාන ටෙක්නිකල් හංදිය කිව්වම නොදන්න කෙනෙක් නැතිතරම්. මේ හංදිය ලංවෙන කොට බස්වල කොන්දොස්තර මහත්තුරුත් කියන්නෙ “ටෙක්නිකල්” බහින්න කියලා. මරදානෙ ආරම්භ වුණු කාර්මික විදුහල මේ විදියට ජනතාවගේ හදවත් තුළට එකතුවෙනවා.

කුඩා කර්මාන්ත ශාලාවක් පර්යේෂනාගාරයක් දේශන ශාලාවක් හා කුඩා පන්ති කාමරයකින් යුක්තව සිසුන් විසිපස් දෙනෙකුගෙන් ආරම්භ වුණු කාර්මික විදුහල ලාංකිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ට පෙරලියක් කරන්න සමත්වෙනවා. රජයේ දෙපාර්තමේන්තු වලට අවශ්‍ය කාර්මික ශිල්පීන් ඉංජිනේරුවන් බිහිකරන්න මේ කාර්මික විද්‍යලය ආරම්භ කරත් විද්‍යාව, කලාව, වාණිජ්‍ය, වෛද්‍ය විද්‍යාව වගේ විෂයන් ලංකාවේ අධ්‍යාපන ධාරාවට එකතු කරන්නෙත් මේ කාර්මික විද්‍යාලය මගින්ම තමයි.

ශ්‍රි ලංකා වෛද්‍ය විද්‍යලය ආරම්භ වුණ මුල්කාලයෙත් වෛද්‍ය සිසුන් සඳහා රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව හා සාමාන්‍ය විද්‍යාවද සමග පන්ති පැවැත්වුණෙත් මේ කාර්මික විද්‍යාලයේදි. පසුව වෛද්‍ය විද්‍යාලය වෙනමම ආයතනයක් බවට පත්වෙලා වෙන් වෙනවා. මෙහි පාසල් ගුරුවරුන් සඳහා විද්‍යා පාඨමාලාද ආරම්භ වෙනවා. මෙතනින් ඉගෙන ගත්ත ගුරුවරු තමයි පොදු අධ්‍යාපන ක්‍රමය තුළ විද්‍යාව ඉගැන්වීමේ පුරෝගාමී ගුරුවරු වෙන්නෙ. ගුරුවිද්‍යාල ආරම්භ වී ගුරු පාඨමාලා ඇරඹීමත් එක්ක විද්‍යා ගුරු අධ්‍යාපනයත් ගුරුවිද්‍යාල වල කාර්යක් බවට පත්වෙනවා. 

1906 වන විට රජයේ කාර්මික විදුහල කියන නම ලංකා කාර්මික විද්‍යාලය කියලා වෙනස් වෙනවා. මේකාලය වනවිට සිවිල් ,විදුලි කාර්මික, යාන්ත්‍රික ඉංජිනේරු පාඨමාලාවන් වගේම විදුලි පනිවුඩ සේවා ,භෞතික විද්‍යා ,රසායන විද්‍යා පාඨමාලාවන් ආරම්භවෙනවා. 1908 විතර වෙනකොට විද්‍යා පාඨමාලාවන් වගේම කළමනාකරන හා ව්‍යාපාර අධ්‍යන පාඨමාලාවනුත් ආරම්භවෙනවා. වෘත්තීය මට්ටමේ ගණකාධිකරණය සඳහා සන්ද්‍යා පාඨමාලා 1943 දී ඇරඹෙන අතර, උපාධි මට්ටමේ වානිජ විද්‍යා පූර්ණ කාලීන පාඨමාලාව ආරම්භ වෙන්නෙ 1946 දි. 1951 දී තක්සේරුකරණය පිළිබඳ වෘත්තීයමය පාඨමාලාවක්ද ආරම්භ වෙලා තියෙනවා මීට අමතරව බිතාන්‍ය වෘත්තිය ආයතනයන්හි ලේකම් වෘත්තිය, ගමනාගමනය සහ බැංකු වෘත්තීය අංශයන්හි බාහිර විභාග සඳහා ද පාඨමාලාවන් ආරම්භ වෙනවා. අලෙවිකරණය සහ ලඝුලේබණ විද්‍යාව පිළිබඳ පාඨමාලාද ආරම්භ වීම නිසා මේ කාලයෙ ලංකාවෙ තිබුන ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනය වෙන්නෙත් මේ කාර්මික විද්‍යාලය. පසුකාලීනව ගණකාධිකරණය ,බැංකු වගේ ක්ෂේත්‍ර වලට වෘත්තීය ආයතන ආරම්භ වෙලා පාඨමාලා පටන්ගත්තත් අදටත් කාර්මික විද්‍යාලයේ ගණකාධිකරන පාඨමාලා වලට හිමිවෙන්නෙ ඉහළම ස්ථානයක්.

1921 ලංකා විශ්ව විද්‍යාලයෙ විද්‍යා අධ්‍යාපන අංශය වෙන්නෙත් කාර්මික විද්‍යාලයෙ පිහිටලා තිබුණ විද්‍යා අංශය.1933 වෙනවිට ලංකා ලංකා කාර්මික විද්‍යාලය ප්‍රතිසංවිධානය වෙලා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙ ඉංජිනේරු විද්‍යාව සඳහා සිසුන් යොමුකිරීම ආරම්භ වෙනවා. 1950 ලංකා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය ආරම්භ වෙනතුරුම මේ විදියට ලන්ඩන් විශ්ව විද්‍යාලය සඳහා සිසුන් යොමුකරන්නෙ මරදාන කාර්මික විද්‍යාලය. ලංකා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය ආරම්භ වෙලත් 1952 -1960 අතර කාලයෙදි එම පීඨය පේරාදෙනියේ පිහිටි නව පරිශ්‍රය වෙත ගෙන යන තුරුම ඉංජිනේරු පීඨය භාවිතා කරන්නෙත් කාර්මික විද්‍යාලයේ වැඩහල්.

1953 වසරෙදි කාර්මික විද්‍යාලයේ කලාශිල්ප අංශය රජයේ සෞන්දර්ය විද්‍යාලය නම් නව දෙපාර්තමේන්තුවක් වෙත අනුයුක්ත කෙරෙනවා. වර්තමාන සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය බවට පත්වෙලා තියෙන්නෙ මේ ආයතනය. මරදාන කාර්මික විද්‍යලයෙ තිබුණ ප්‍රායෝගික තාක්ෂණය පිළිබඳ පාඨමාලා 1960 අවුරුද්දෙදි මොරටුව කටුබැද්ද ප්‍රදේශයට ගෙන යනවා. 1966 දි ශ්‍රි ලංකා තාක්ෂණ විද්‍යාලය වශයෙන් උසස් කරපු මේ ආයතනය තමයි 1972 මොරටුව විශ්වවිද්‍යාලය බවට පත්වෙන්නෙ.
එහෙම බලා ගෙන යනකොට මොරටුව විශ්වවිද්‍යාලය,වෛද්‍ය විද්‍යාලය, සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලය,පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨය වගේ ලංකාවට විශිෂ්ඨයො බිහිකරපු ආයතන රැසක ආරම්භය මේ ටෙක්නිකල් හංදිය. ඒ වගේම ලංකාවේ පළමු තාක්ෂණ විශ්වවිද්‍යාලය වුණ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යලය ආරම්භ කරන්නත් මරදාන කාර්මික විද්‍යලය ලොකු මෙහෙයක් කරලා තියෙනවා
කාලයත් එක්ක දියුණුවට පත්වුන මරදාන කාර්මික විද්‍යාලය පළාතකට එක් තාක්ෂණ විද්‍යාලයක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල යටතේ 2008 වසරෙදි කොළඹ තාක්ෂණ විද්‍යාලය බවට උසස්වෙනවා. තොරතුරු තාක්ෂණය මෙකාට්‍රොනික් තාක්ෂණය ,ජීවවෛද්‍ය උපකරණ තාක්ෂණය, ස්වර්ණාභරන තාක්ෂණය, සැලසුම් ශිල්පය වගේ අළුත් ලෝකෙට ගැළපෙන තාක්ෂණික පාඨමාලාවන් ආරම්භවෙලා ටෙක්නිකල් හංදියෙන් බහින තරුණ දරුවන්ට ජීවිතේ ඉහළට නගින්න පාර පෙන්නනවා.

එහෙම ටෙක්නිකල් හංදියෙන් බැහැලා ලෝකෙම දිනපු උගත්තු විශාල ප්‍රමාණයක් ඉන්නවා. මුළු රටම ජල විදුලියෙන් ආලෝකමත් කරපු ජල විදුලි බලයේ පියා වශයෙන් සලකන ඩී.ජේ. විමලසුරෙන්ද්‍ර මැතිතුමත් ටෙක්නිකල් හංදියෙන් බැහැපු ශේෂ්ඨ යුග පුරුෂයෙක්. එතුමා මරදාන රජයේ කාර්මික විද්‍යාලයේ ඉංජිනේරු අංශයට ඇතුළත්වී ඉගෙනුම ලබා පිටවෙලා තියෙන්නෙ 1892 වර්ෂයේදී පැවැති විභාගයෙන් ඉංජිනේරු අංශයේ ප්‍රථමයා ලෙසින්. ඒ වගේම කුලසිංහ කොන්ක්‍රීට් නමින් ප්‍රකට පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂනය හඳුන්වාදීලා ඒකට පේටන්ට් බලපත්‍රය පවා ලබා ගත්. කොන්ක්‍රිට් සිල්පර හඳුන්වා දීපු ආචාර්ය එන්. එස් කුලසිංහ මැතිතුමත් ටෙක්නිකල් හංදියෙන් බැහැලා ගල් පඩිපෙල නැගලා ඇතුලට ආපු කෙනෙක්. 1936 කාර්මික විද්‍යලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් එතුමා තංගල්ල, මිරිස්ස, යාපනය, බේරුවල වරායන් ද කොළඹ වරාය ජැටිය, පුත්තලම සිමෙන්තිකර්මාන්තශාලාව ,පොල්ගොල්ල වේල්ල, ග්‍රහලෝකාගාරය, දළදාමාලිගාවේ රන්වියන, කළුතර චෛත්‍ය වගේ විශිෂ්ට නිර්මාන මෙරටට දායක කරපු කෙනෙක්. තුන්මං හංදියෙන් හැරිලා චිත්‍ර ඉගෙන ගන්න මරදානට ඇවිත් විශිෂ්ඨ සාහිත්‍ය නිර්මාණ රාශියක් දායාද කරපු මහගම සේකර මැතිතුමත් මරදාන කාර්මික විද්‍යලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙක්.

මේවගේ රටට විශිෂ්ඨ සේවයක් ඉටුකරපු , කරමින් ඉන්න විශාල පිරිසක් ටෙක්නිකල් හංදියෙන් බැහැපු අය. මේ වගේ ජීවිතේ දිනන්න වෙර දරන විශාල පරපුරක් අදත් ටෙක්නිකල් හංදියෙන් බහින්න බලාගෙන ඉන්නවා. අවුරුදු 132 කට කලින් බක්කි කරත්තෙන් ඇවිත් බැහැලා ගල්පඩිපෙළ නැගපු තරුණ දරුවන්ට වගේම අද සමන්තුරේ ඉඳලා එන ඉන්දියානු බස් එකේ ඇවිත් ටෙක්නිකල් හංදියෙන් බහින දරුවන්ටන් මේ ටෙක්නිකල් කොලීජිය කිසි වෙනසක් නැතුව කාර්මික ඥාණය ලබා දෙනවා . බොහොම අභිමානවත් විදියට ටෙක්නිකල් හංදිය දිහා බලාගෙන ඉන්න, ඉංග්‍රිසි ආකෘතියට ගොඩ නැගුන කාර්මික විද්‍යාලයෙ රක්තවර්ණ ගොඩ නැගිල්ල ඒ බවට සාක්ෂි දරනවා. රටේ හතර දිග් භාගයෙන්ම එන දරුවො මෙතනින් බැහැලා ජීවිතේ සරුකරගන්නවා. කොළඹ කොටුවට එන හැම බස් එකක්ම මොන පැත්තට ගියත් යන්නෙ ටෙක්නිකල් හංදිය පහුකරලා. මොන බස් එකේ ඇවිත් බැස්සත් ඒ හැම කෙනාම යන්නෙ ජීවිතේ දිනලා. ඒ නිසාම දැන් “ටෙක්නිකල් බහින්න” කිව්වට ඉදිරි කාලයෙදි “ටෙක්නිකල් බහින්න - ජීවිතේ නගින්න ” කියලම ඒ බස්වල කොන්දොස්තර මහත්තුරු කියාවි. 

- අසිරු වේදිත කරුණාරත්න -

Related

Articles 1077772632195364939

Post a Comment Default Comments

emo-but-icon

Connect Us

Subscribe by Email

Event Calendar

Comming Soon

Comming Soon
item